ඉක්මනට ලියනව කියල කිව්වට ඉක්මනටනම් ලියන්න බැරිවුනා. ඒත් අද කොහොමහරි ලියන්න වෙලාවක් හොයාගත්ත. ගිය මාසෙ මගෙ ඔෆිස් සඟයගෙ විවාහ උත්සවය තිබුන. මට පළවෙනි වතාවට ඇමරිකානු විවාහයක අත්දැකීම ලබන්න පුලුවන්වුනා. ඒ අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න හිතුන අද පෝස්ට් එකෙන්.
ආරාධනා පත්‍රයම මාව ටිකක් පුදුමයට පත්කලා. ඒකෙ තිබුනෙ විවාහය උදේ 10ට කතෝලික පල්ලියෙ. ඊට පස්සෙ රෑ කෑමට සහ නැටුමට වෙනම ආරාධනයක් තිබුනා. කොහොමහරි කියල තිබුන වෙලාවට මම පල්ලියට ගියා තව යාලුවොත් එක්ක. මනාල යහළු යෙහෙලියො 16 දෙනෙක් හිටිය. බැඳපු නොබැඳපු මනාළ මනාලියගෙ යහලුවො සහෝදර සහෝදරියො තමයි ඒ හිටියෙ. මල් කුමාර කුමාරියො 2යි.
කෙටි චාරිත්‍ර වලින් පස්සෙ කට්ටියම එලියට ආව. අපේ වගේ ගොඩාක් ෆොටො ගැනීමක්නම් තිබුනෙ නැහැ. එලියට ආපු මනාල යුවලට කට්ටිය සුබ පැතුව. ඊට පස්සෙ ඉතින් ඇවිත් හිටපු ගොඩක් කට්ටිය ගෙවල් වලට ගියා ඇඳුම් මාරු කරන් එන්න කියල. දවල් කෑම වෙලාවත් කිට්ටුවෙලා තිබුන නිසා අපිත් restaurant එකකට ගියා කන්න. (රෑට ගොඩක් කන්න තියෙනවනෙ කියල හිතල මම ගොඩක් කෑවෙත් නැහැ. :p)
කොහොමහරි ඉතින් කාල ඉවරවෙලා අපි ගෙවල් වලට ගියා. ඊට පස්සෙ කියල තිබ්බ විදියට රෑ 7 වෙද්දි අපි උත්සව ශාලාවට ගියා. ලංකාවෙ වගේ ගොඩක් සැරසිලි තිබ්බෙනම් නැහැ. පුටු තිබ්බෙත් නිකම් ප්ලාස්ටික් ඒව. වෙල්කම් ඩ්‍රින්ක් කියල තිබ්බෙත් නැහැ. හැබැයි වෙනම තැනක් බීමට සකස් කරල තිබුනා. බාර් වල තියෙන ගොඩාක් මත්පැන් එතන තිබුනා. එකම ප්‍රශ්නයවුනේ විනාඩි 5ක වගේ පෝලිමක් තිබ්බ බීම ගන්න යන්න. එහෙම උනේ කට්ටියට ඕනෙම විදියකට මිශ්‍ර කරල බීම ගන්න සලස්වල තිබුන නිසා. මම තාවකාලිකව බීම නතර කරල තියෙන නිසා පෝලිමේ ගිහින් දොඩම් බීමක් අරගෙන ආව. (පෝලිමේ ගිහින් බොන්න ගත්තනම් දුක නැහැ. ඒත් දොඩම් බීම ගන්න පෝලිමේ යන්නවුන එක තමයි දුක.)
8 පහුවුනත් තාම කෑම මේසයක් පේන්න තිබ්බෙ නැහැ. මෙහෙ කලින් කෑම ගන්න නිසා නිසා ඒක ටිකක් පුදුමයක් උනා. කෑම වලට වෙන කොහෙහරි යනවද දන්නෙත් නැහැනෙ කියලත් හිතුන. රෑට ගොඩක් කන්න හිතාගෙන දවල් ටිකක් කාපුනිසා හොඳ ගානට බඩගින්නෙ හිටියෙ. මෙන්න ටික වෙලාවක් යද්දි පිඟන් වලට දාල ස්පැගටි දෙන්න ගත්ත. ඒක දැක්කම තමයි දවල්ට හොඳට නොකාපු මෝඩකම තෙරුනේ. යාලුවො එක්ක හිටපු නිසා ලැජ්ජාව පැත්තකින් තියල පිඟන් දෙකක්ම අරන් කෑවත් ඒක බඩේ ගෑවෙන්නවත් මදි. ලංකාවෙ වගේ බයිට් තිබ්බෙත් නැහැ ඉතුරු හරියට කන්න. මොනව කරන්නද ඉතින් මෝඩකමට දවල්ට හොඳට නොකෑවට කියල ඉවසන් හිටියා. (මෙහෙ ඉන්න කවුරුහරි වෙඩින් එකකට යනවනම් හොඳට කාල යන්න මතක තියාගන්න. මෙහෙ වෙඩ්ඩින්වල කෑමට තියෙන්නෙ බොහොම සුළු තැනක්. ප්‍රධාන තැන තියෙන්නෙ බීමට.)
කොහොමහරි ඉතින් 10ට නැටුම් පටන් ගත්ත. ඒක පටන් ගත්තෙ මනාල යුවලගෙ නැටුමකින්. 40 විතර කට්ටියක් මයිකල් ජැක්සන්ගෙ ත්‍රිලර් නර්තනය නැටුව. ඒකනම් ගොඩක් ලස්සනයි. ඊට පස්සෙ ඉතින් අපි කට්ටියත් නටන්න ගත්ත. තවත් සිත්ගන්න දෙයක් තිබුනා. ඒ තමයි මුදල් දීල මනාලයා හෝ මනාලිය එක්ක නටන එක. අපිට එයාල එක්ක නටන්න ඕනෙනම් සල්ලි දෙන්න ඕනෙ. ඩොලර් 1,5,10,20 කැමති ගානක් දෙන්න පුලුවන්. ඒක තවත් චාරිත්‍රයක්. (දුප්පත් මම ඉතින් ඩොලර් එකක් දීල නැටුමක් ඉල්ල ගත්ත.) කොහොමහරි ඉතින් 12 වෙනකල් නැටුම් තිබුන.
අතර මැදදි නැටුම පොඩි වෙලාවකට නැවැත්තුව. ඒ මනාලිගෙ මල් කලඹ විසි කරන්න. නොබැඳපු ගැහැණු ළමයි හැමෝටම එන්න කියල මනාලි පිටිපස්සට මල් කලඹ විසි කරනව. ඒක අල්ලන කෙනා තමයි ඊලඟට විවාහ වෙන්නෙ කියල තමයි කියන්නෙ. ඊට පස්සෙ මනමාලය මනාළිගෙ කකුලෙ බැදන් හිටපු පටියක් විසිකරනව නොබැඳපු පිරිමි ළමයිනට. ඒක අල්ලන පිරිමි ළමය තමයිලු ඊලඟට විවාහ වෙන්නෙ.
අන්තිමට මනමාළ යුවල කේක් කැපුව. ඊට පස්සෙ ඒක කට්ටියට බෙදුව. ඊට පස්සෙ 12ට උත්සව ශාලව වහන නිසා කට්ටියම එලියට ආව. බාර් වහන්නෙ පාන්දර 2.30ට නිසා කට්ටියම (මනමාළ යුවල, නෑදෑයො, යාලුවො හැමෝම ) බාර් යන්න කතාවුන. මම ඉතින් අමද්‍යප වෙලා තිබුන නිසා පළමු ඇමරිකානු විවාහයේ අත්දැකීමුත් අරන් මම ගෙදර එන්න පිටත්වුනා.
එහෙනම් ආයෙත් හමුවෙමු…