Feeds:
ලිපි
ප්‍රතිචාර

ඉතින් ආයෙත් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා. ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් හිටපු විදියටම සිද්ද උනා. ඒගැන සතුටුයි. අලුත් ගෙදරකට යන්නත් පුලුවන් උනා. ඒකනම් එපාවෙන වැඩක්. මාස ගානක් යනව ඔක්කොම වැඩ ඉවරවෙන්න.

මුලින්ම බැංකුවකට ගිහින් ලෝන් එකක් ගන්න බලන්න ඕනෙ. අපේ පරණ ගනුදෙනු, අපි කලින් පොලු තියල තියෙනවද වගේ බලල එහෙම නැතනම් අපිට ලෝන් එකක් දෙන්න කැමතියි කියල ලියුමක් දෙනව. ඊට පස්සෙ තමයි අමාරු වැඩේ. ගෙවල් බලන එක.

බ්‍රෝකර් කෙනෙක් අල්ලගෙන, ගෙවල් බලන්න යන්න ඕන. බ්‍රෝකර්ල ලඟ විකුනන්න දාල තියෙන ඕනෙම ගේකට යන්න යතුර ගන්න කාඩ් එකක් තියෙනව. කොහොමහරි ගෙවල් 8-10 බලල එකක් තෝර ගත්ත කියමුකො. ඊට පස්සෙ ගේ තත්වෙ කොහොමද කියල පරීක්ෂා කරවගන්න ඕන. තත්වෙ හොඳ නැත්නම් ලෝන් දෙන්නෙ නැහැ.

කොහොමහරි ගෙදර ගාන බලල අපි ටිකක් අඩු ගානකට ඉල්ලනව. ගෙදර අයිතිකාරයා ඒකට කැමතිවුනොත් හරි. එහෙම නැතිනම් එයා ආයෙ වෙනගානක් කියනව, නැත්නම් කෙලින්ම අඩු කරන්න බැහැ කියනව. වැඩේ තියෙන්නෙ ඒ ඔක්කොම වෙන්නෙ බ්‍රෝකර්ලගෙ මාර්ගයෙන්. (ගන්න කෙනාටයි, විකුනන කෙනාටයි වෙනම බ්‍රෝකර්ල දෙන්නෙක් ඉන්නවා).

අපි ගාන අඩුකරල ඉල්ලන්නත් පිටු 50ක් විතර ෆෝම් පුරවන්න ඕන. කොහොමහරි දෙන්නම ගානකට එකඟ වුනොත් දෙන්නම ඒ ෆෝම් ටික අත්සන් කරනව. ඒ හැමදේම වෙන්නෙ බ්‍රෝකර්ලගෙ මාර්ගයෙන්. ඊට පස්සෙ අත්සන් කරපු ෆෝම් ටික බැංකුවටයි, ඔප්පු සහතික කරන්නයි යවනව. ඒ ඔක්කොම හරිනම් අපේ බ්‍රෝකර් අපිට ගෙදර යතුර අරන් දෙනව.

ඔහොම කෙටියෙන් කිව්වට ඔය ඔක්කොම කරන්න අපිට මාස 3ක් ගියා. අපි ගේ ගත්තට මේ වෙනකල් අපිට නිකමටවත් ගෙදර විකුනපු කෙනා හම්ඹවෙන්න වුනේ නැහැ. හැමදේම වුනේ බ්‍රෝකර්ල අතින් තමයි. කොහොමහරි ඉතින් ඔය ඔලුව කැක්කුම හැදෙන වැඩවලින් පස්සෙ ගෙදර හම්ඹුනා. කොච්චර එපාවෙන වැඩක් වුනත් අවසාන ප්‍රථිඵලය ගැන ගොඩක් සතුටුයි.

ගෙදර ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්කො. ආයෙත් හමුවෙමු.

රූපයට නොව හදවතට ආදරය කරන්න…

මේක මම ලියපු එකක්නම් නෙමෙයි. ඊමේල් එකකින් ආවෙ. ලස්සන කතාවක් නිස බෙදාගන්න හිතුනා.


ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.


ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරණීය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්.


ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය… තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව ගෙවී ගිය වසරකුත් මාසයක් වූ කාලය තුල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කර ගත් අතර ඒ සෑම ලිපියක් පාසාම ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ආලය ව් අර්ධනය වනු ඔවුන් දෙදෙනාටම දැනුනි.ජෝන් ඇගෙන් ඡායාරූපයක් ඉල්ලා සිටිය මුත් ඇය එම ඉල්ලීම තදින්ම ප්‍රතික්‍ෂේප කලාය. ඇගේ අදහස වූයේ ඔහු ඇයට සත්‍ය වශයෙනම ආලය කරනවා නම් ඇගේ ස්වරූපය පිලිබදව ඔහු උනන් දු නොවිය යුතු බවයි.


ඔහු යුරෝපයේ සිට යලි ඇමරිකාව බලා පැමිනෙන දිනය ලගා වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු හමුවීම නිව්යෝර්ක්හි ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසල සවස 6ට යොදා ගත්තෝය.


“මාව හදුනා ගන්න පහසු වෙන්න මම රතු රෝස මලක් මගේ ගවුමේ පලදින්නම්” ඇය අවසන් ලිපියේ සදහන් කලා. එම නිසා ජෝන් ස්මිත් නියමිත දින සවස 5.30 වන විට ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසලට පැමිනි අතර හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණිය පැමිනෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියා.


කතාවේ මීලග කොටස ජෝන් ස්මිත්ගේ වචන වලින්ම ඔබට ඉදිරිපත් කරන්න“හරියටම සවස 6වන විට සිහින් උස තරුණියක් මා සිටි දෙසට පැමිනියා,ඇගේ කලුවන් කෙස් කලබ සැදෑ හිරු වැදී බැබලුනු අතර ඇගේ නිල් පැහැති දෙනෙත් වල කාන්තියට මා වසග වූවා. ඇගේ රෝස පැහැ දෙතොල් මත මද සිනාවක් තැවරී තිබුනි අතර ඇය හැද සිටි තද කොළ පැහැති ඇදුමින් ඇගේ ශෝබාව දෙගුණ තෙගුණ වී තිබුනා. විසි පස් හැවිරිදි තරුණයෙකු වූ මා මගේ ජීවිතය තුල එතෙක් දැක තිබූ ලස්සනම කාන්තාව ඇයයි.

ඇය රතු පැහැති රෝස මලක් පැලද නොසිටියත් මම ඉබේම ඈ දෙසට ඇදී ගියේ මටත් නොදැනීමයි. මා දෙස බලා මද සිනාවක් පෑ ඇය මා පසු කර ගිය අතර මා එවිටම දුටුවේ මේරි ජොන්සන්වයි.ඇය රූමත් තරුණිය පිටුපසින්ම වාගේ සිටියාය. ඇය තරුණියක් නොවූ අතර මැදි විය පසු කරමින් සිටි ගැහැණියක් වූවාය. ඇය හිස් වැස්මක් පැලද සිටි අතර ඒ අතරින් ගෙල පෙදෙසට වැටී තිබූ අළු පැහැ වූ කෙස් කලබෙන් ඇගේ වයස පිලිබදව සාක්‍ෂියක් සැපයුනි. තරබාරු කාන්තාවක් වූ ඇය අවසන් ලිපියෙන් පොරොන්දු වූ පරිදිම රතු රෝස මලක් පැලද සිටියාය…ලොව මා වටා භ්‍රමනය වන ආකාරයක් මට දැනුනි.


මේ වන විට තද කොළ පැහැති ඇදුමකින් සැරසී සිටි රූමත් තරුණිය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වෙමින් සිටියා. මගේ හදවත කැබලි වලට බිදී යන ආකාරයක් මට දැනුනි,ඇය පසු පසින් යාමට බලවත් අවශ්‍යතාවයක් මට තිබුනත් වසරකට අධික කාලයක් තිස්සේ මා සමග ලිපි හුවමාරු කර ගනිමින් මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි.


මම යලිත් ඇගේ තරබාරු සුදුමැලි මුහුන දෙස බැලුවෙමි. ඇගේ කරුනාවන්ත දෑස් මා වෙත යොමු වී තිබූ අතර මද විමතියක සලකුනු ඒවායේ සටහන් වුනා. තවත් පමා නොවූ මා මෙතෙක් කලක් මා ප්‍රවේශමෙන් ආරක්‍ෂා කර ගත් ඇගේ පොත ඇයට බාර දුන්නා.


ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා ඇයට මාව හදුන්වා දුන්නා.


“මම ලුතිනන් ජෝන් ස්මිත්,ඔබ මේරි ජොන්සන් විය යුතුයි,ඔබව හමු වීම මට මහත් සතුටක්,මා සමග රාත්‍රී ආහාරයට පැමිනීමට මා ඔබට ආරාධනා කරනවා”


කාන්තාවගේ මුහුනේ මද සිනහවක් ඇදී ගියා.


“මම දන්නේ නෑ පුතේ මේකේ තේරුම ” ඇය පිලිතුරු දුන්නා.


“මට කලින් ආව තද කොළ පාට ඇදුමක් ඇදන් හිටිය කාන්තාව මගෙන් තදින්ම ඉල්ලා හිටියා මේ රෝස මල මගේ ඇදුමේ පලදින්න කියලා. එයා කිව්වා පුතා මට රාත්‍රී ආහාරයකට ආරාධනා කලොත් පුතාට කියන්න කියලා එයා පාරෙන් එහා පැත්තේ විශාල අවන්හලේ පුතා එනතුරු ඉන්න බව. ” ” මේක එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් බව ඇය කිව්වා”.

 

රූපයට නොව හදවතට ආදරය කරන්න ඔබ ජය ගනීවි.

 

 

~~~~ උපුටා ගැනීමකි~~~~

මේක මට හම්ඹුනේ ඊමේල් එකකින්. අපේ සෝම හාමුදුරුවො ගැන. මේක ගොඩක් අය අහල දැකල ඇති. ඒත් නොදැකපු කාට හරි දැකගන්නත් එක්ක පෝස්ට් කරන්න හිතුන… 

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන් වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය…

වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.

විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න…”

උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා.

ගොඩක් කාලෙකින් ආයෙත් ලියන්න ගත්ත. අද ගොඩක් වෙලාවක් නැහැ. ඒත් පොඩ්ඩක් හරි ලියනව කියල ආව.

පහුගිය දවස් දෙකේ මෙහෙ නිවාඩු “Thanksgiving” වලට. නවීන “thanksgiving” සමරන්නෙ තෑගි දිනය(present-day) පදනම් කරගෙන උනත් මේකෙ ආරම්භය ඊට වඩා එහාට යනව කියල තමයි කියන්නෙ. රතු ඉන්දියානුවන් අස්වැන්න නෙලාගෙන ඉවරවෙලා දෙවියන්ට ස්තුති කිරීමක් විදියට උත්සව පවත්වල තියෙනව. ඒක තමයි “thanksgiving” වල ආරම්භය කියල කියන්නෙ. පොඩ්ඩක් විකිපීඩියා බලන්නකො වැඩිදුර විස්තර ඕනෙනම්.
thanksgiving

කොහොමහරි “thanksgiving” වැටෙන්නෙ නොවැම්බර් හතරවන සතියෙ බ්‍රහස්පතින්දා. ඒකට බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකම නිවාඩු. සිකුරද “black friday” කියල කියන්නෙ. එදාට ගොඩාක් විදුලි උපකරණ, කම්පුටර්, ඇඳුම් වගේ හැමදෙයක්ම සේල් දානව. බඩුවල ගනන් බාගෙට බාගයක් අඩුයි. ඒත් ඉතින් පෝලිමත් ඒවගේම තමයි. සමහර සේල් පටන් ගන්නව සිකුරාද ලබපු ගමන්. ඒකියන්නෙ බ්‍රහස්පතින්දා රෑ 12 ට. ඒත් මිනිස්සු පෝලිමේ ඉන්නව රෑ 8,9 ඉදල.

මම කලින් කවදාවත් එදාට බඩුගන්න ගිහින් තිබ්බෙ නැහැ. ඒත් මේපාර බලන්නත් එක්ක රෑ 12ට ෂොපින් ගියා. අපි ගිය සුපර් මාර්කට් එකේ මිනිස්සු 1000-2000 වගේ පෝලිමේ හිටිය. ඒවුනත් කොහොමහරි විනාඩි 20 වගේ අපිට ඇතුලට යන්න පුලුවන් වුනා. බඩුනම් ඇත්තටම අඩුයි. TV, camera, laptop වගේ ගොඩක් අඩුවට තිබ්බ. මම මුකුත් ගත්තෙනම් නැහැ ඒත් ලබන පාර ප්ලෑන් කරල ගිහින් ගන්න ඕනෙ කියල හිතා ගත්ත.

ආහ්හ්… මට කියන්න අමතක වුනානෙ. මට අලුත් ජොබ් එකක්(Research Associate) හම්ඹුනා. ආරම්භයක් විදියට ගොඩාක් හොඳ එකක්. පර්යේශන කරන වෛද්‍යවරුන්ට සංඛ්‍යානය පැත්තෙන් උදව් කරන්න තියෙන්නෙ. ඒක ගොඩක් හොඳ අත්දැකීමක්. මම ඒකට ගොඩාක් කැමතියි. කොහොමහරි අවුරුද්දක්, දෙකක් මේක කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. බලමුකො මොකෝ වෙන්නෙ කියල.

ආයෙත් හම්බවෙමු.

ඇමරිකානු ජීවිතේ – ඇමරිකානු විවාහය

ඉක්මනට ලියනව කියල කිව්වට ඉක්මනටනම් ලියන්න බැරිවුනා. ඒත් අද කොහොමහරි ලියන්න වෙලාවක් හොයාගත්ත. ගිය මාසෙ මගෙ ඔෆිස් සඟයගෙ විවාහ උත්සවය තිබුන. මට පළවෙනි වතාවට ඇමරිකානු විවාහයක අත්දැකීම ලබන්න පුලුවන්වුනා. ඒ අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්න හිතුන අද පෝස්ට් එකෙන්.

ආරාධනා පත්‍රයම මාව ටිකක් පුදුමයට පත්කලා. ඒකෙ තිබුනෙ විවාහය උදේ 10ට කතෝලික පල්ලියෙ. ඊට පස්සෙ රෑ කෑමට සහ නැටුමට වෙනම ආරාධනයක් තිබුනා. කොහොමහරි කියල තිබුන වෙලාවට මම පල්ලියට ගියා තව යාලුවොත් එක්ක. මනාල යහළු යෙහෙලියො 16 දෙනෙක් හිටිය. බැඳපු නොබැඳපු මනාළ මනාලියගෙ යහලුවො සහෝදර සහෝදරියො තමයි ඒ හිටියෙ. මල් කුමාර කුමාරියො 2යි.

කෙටි චාරිත්‍ර වලින් පස්සෙ කට්ටියම එලියට ආව. අපේ වගේ ගොඩාක් ෆොටො ගැනීමක්නම් තිබුනෙ නැහැ. එලියට ආපු මනාල යුවලට කට්ටිය සුබ පැතුව. ඊට පස්සෙ ඉතින් ඇවිත් හිටපු ගොඩක් කට්ටිය ගෙවල් වලට ගියා ඇඳුම් මාරු කරන් එන්න කියල. දවල් කෑම වෙලාවත් කිට්ටුවෙලා තිබුන නිසා අපිත් restaurant එකකට ගියා කන්න. (රෑට ගොඩක් කන්න තියෙනවනෙ කියල හිතල මම ගොඩක් කෑවෙත් නැහැ. :p)

කොහොමහරි ඉතින් කාල ඉවරවෙලා අපි ගෙවල් වලට ගියා. ඊට පස්සෙ කියල තිබ්බ විදියට රෑ 7 වෙද්දි අපි උත්සව ශාලාවට ගියා. ලංකාවෙ වගේ ගොඩක් සැරසිලි තිබ්බෙනම් නැහැ. පුටු තිබ්බෙත් නිකම් ප්ලාස්ටික් ඒව. වෙල්කම් ඩ්‍රින්ක් කියල තිබ්බෙත් නැහැ. හැබැයි වෙනම තැනක් බීමට සකස් කරල තිබුනා. බාර් වල තියෙන ගොඩාක් මත්පැන් එතන තිබුනා. එකම ප්‍රශ්නයවුනේ විනාඩි 5ක වගේ පෝලිමක් තිබ්බ බීම ගන්න යන්න. එහෙම උනේ කට්ටියට ඕනෙම විදියකට මිශ්‍ර කරල බීම ගන්න සලස්වල තිබුන නිසා. මම තාවකාලිකව බීම නතර කරල තියෙන නිසා පෝලිමේ ගිහින් දොඩම් බීමක් අරගෙන ආව. (පෝලිමේ ගිහින් බොන්න ගත්තනම් දුක නැහැ. ඒත් දොඩම් බීම ගන්න පෝලිමේ යන්නවුන එක තමයි දුක.)

8 පහුවුනත් තාම කෑම මේසයක් පේන්න තිබ්බෙ නැහැ. මෙහෙ කලින් කෑම ගන්න නිසා නිසා ඒක ටිකක් පුදුමයක් උනා. කෑම වලට වෙන කොහෙහරි යනවද දන්නෙත් නැහැනෙ කියලත් හිතුන. රෑට ගොඩක් කන්න හිතාගෙන දවල් ටිකක් කාපුනිසා හොඳ ගානට බඩගින්නෙ හිටියෙ. මෙන්න ටික වෙලාවක් යද්දි පිඟන් වලට දාල ස්පැගටි දෙන්න ගත්ත. ඒක දැක්කම තමයි දවල්ට හොඳට නොකාපු මෝඩකම තෙරුනේ. යාලුවො එක්ක හිටපු නිසා ලැජ්ජාව පැත්තකින් තියල පිඟන් දෙකක්ම අරන් කෑවත් ඒක බඩේ ගෑවෙන්නවත් මදි. ලංකාවෙ වගේ බයිට් තිබ්බෙත් නැහැ ඉතුරු හරියට කන්න. මොනව කරන්නද ඉතින් මෝඩකමට දවල්ට හොඳට නොකෑවට කියල ඉවසන් හිටියා. (මෙහෙ ඉන්න කවුරුහරි වෙඩින් එකකට යනවනම් හොඳට කාල යන්න මතක තියාගන්න. මෙහෙ වෙඩ්ඩින්වල කෑමට තියෙන්නෙ බොහොම සුළු තැනක්. ප්‍රධාන තැන තියෙන්නෙ බීමට.)

කොහොමහරි ඉතින් 10ට නැටුම් පටන් ගත්ත. ඒක පටන් ගත්තෙ මනාල යුවලගෙ නැටුමකින්. 40 විතර කට්ටියක් මයිකල් ජැක්සන්ගෙ ත්‍රිලර් නර්තනය නැටුව. ඒකනම් ගොඩක් ලස්සනයි. ඊට පස්සෙ ඉතින් අපි කට්ටියත් නටන්න ගත්ත. තවත් සිත්ගන්න දෙයක් තිබුනා. ඒ තමයි මුදල් දීල මනාලයා හෝ මනාලිය එක්ක නටන එක. අපිට එයාල එක්ක නටන්න ඕනෙනම් සල්ලි දෙන්න ඕනෙ. ඩොලර් 1,5,10,20 කැමති ගානක් දෙන්න පුලුවන්. ඒක තවත් චාරිත්‍රයක්. (දුප්පත් මම ඉතින් ඩොලර් එකක් දීල නැටුමක් ඉල්ල ගත්ත.) කොහොමහරි ඉතින් 12 වෙනකල් නැටුම් තිබුන.

අතර මැදදි නැටුම පොඩි වෙලාවකට නැවැත්තුව. ඒ මනාලිගෙ මල් කලඹ විසි කරන්න. නොබැඳපු ගැහැණු ළමයි හැමෝටම එන්න කියල මනාලි පිටිපස්සට මල් කලඹ විසි කරනව. ඒක අල්ලන කෙනා තමයි ඊලඟට විවාහ වෙන්නෙ කියල තමයි කියන්නෙ. ඊට පස්සෙ මනමාලය මනාළිගෙ කකුලෙ බැදන් හිටපු පටියක් විසිකරනව නොබැඳපු පිරිමි ළමයිනට. ඒක අල්ලන පිරිමි ළමය තමයිලු ඊලඟට විවාහ වෙන්නෙ.

අන්තිමට මනමාළ යුවල කේක් කැපුව. ඊට පස්සෙ ඒක කට්ටියට බෙදුව. ඊට පස්සෙ 12ට උත්සව ශාලව වහන නිසා කට්ටියම එලියට ආව. බාර් වහන්නෙ පාන්දර 2.30ට නිසා කට්ටියම (මනමාළ යුවල, නෑදෑයො, යාලුවො හැමෝම ) බාර් යන්න කතාවුන. මම ඉතින් අමද්‍යප වෙලා තිබුන නිසා පළමු ඇමරිකානු විවාහයේ අත්දැකීමුත් අරන් මම ගෙදර එන්න පිටත්වුනා.

එහෙනම් ආයෙත් හමුවෙමු…

මාස ගානකින් පොඩි නිවාඩුවක් හම්ඹුනා. මේක ලියන ගත්තෙ සතුටුදායක ආරංචියක් දෙන්නත් එක්ක. මම මගෙ තිසිස් එකත් ඉවර කලා. කලින් උපාධි උත්සවය තිබුනත් නිල වශයෙන් උපාධිය සම්පූර්ණ උනේ අගෝස්තු පළවෙනිදා. රැකියා අවසර පත්‍රයක් අයදුම් කරල තියෙන්නෙ. ඒක හම්ඹෙනකල් වැඩ කරන්න තහනම්. ඒක නිසා සති 2ක වගේ පොඩි නිවාඩුවක් තියෙනව.

උපාධිය සම්පූර්ණ කිරීමේ සතුටත් එක්ක හිතට පොඩි දුකකුත් තියෙනව. මගෙ කාර්යාල කාමරේ මාත් එක්ක අවුරුදු 2ක් එකට හිටපු රොබට්, මගෙ සහෝදරයෙක් වගේ හිටපු සැම්සන් දෙන්නම වෙන නගරයකට යනව. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හොඳටම තේරෙනව. ආහ්… කියන්න අමතක වුනානෙ. රොබට්ගෙ විවාහ උත්සවය තියෙන්නෙ මේ මාසෙ 13. පළවෙනි වතාවට ඇමරිකානු විවාහ අත්දැකීමක් ලබාගන්න පුලුවන් එදාට.

ගොඩක් කට්ටිය ඇමරිකානු ජීවිතේ ගැන තව කියන්න ලියල තිබ්බ නිසා අද මට හිතුනා මෙහෙ අලිගැටපේර පාවිච්චිය ගැන ලියන්න. ලංකාවෙ අපි අලිගැටපේර බීම බොනව සහ අතුරුපසක් විදියටත් පාවිච්චි කරනවනෙ. ඒත් මෙහෙ අයට ඒක කිව්වම කියන්නෙ “වාකලා” කියල. ස්පඤ්ඤ බාසාවෙන් “වාකලා” කියන්නෙ “ඊයා” කියන එක. මෙහෙ අයට ඒක කිව්වමත් අප්පිරියයි. මෙහෙ අය අලිගැටපේර පාවිච්චි කරන්නෙ වෙනත්ම දේකට. මෙහෙ තියෙනව කෑමක් “තොටිය” කියල. (thotiya කියල කිව්වට ඒක ලියන්නෙ tortilla කියල. ස්පඤ්ඤ බාසාවෙ ඉංග්‍රීසි අකුරු පාවිච්චි කලාට අකුරු කියවන විදිය ටිකක් වෙනස්. ඒක ගැන වෙනම ලියන්නම්කො).

“තොටිය” අපේ රොටි සහ ගෝදම්බ රොටි අතරමැදි අවස්තාවක්. මෙක්සිකානු ජාතිකයන්ගෙ ජාතික ආහාරය වගේ තමයි ඒක. එයාලගෙ කෑම වලින් බාගයක්ම තියෙන්නෙ “තොටිය” වලට සම්බන්ද ඒව. කොහොමහරි ඉතින් එයාල අලිගැටපේර කන්නෙ මේ තොටිය වල ගාගෙන හරියට අපි පාන් වල බටර් ගානව වගේ. හිතල බලන්නකො රොටි වල ගාගෙන අලිපේර කනහැටි. “වාකලා” නේද? 

ආයෙ ඉක්මනින්ම හමුවෙමු…

මේක මම ලියපු එකක්නම් නෙමෙයි. මට අගෝස්තු වෙනකල් මුකුත් ලියන්න වෙලාවක් හම්බෙන එකක් නැහැ. ඒත් අගෝස්තු වලින් පස්සෙ ටිකක් නිදහස් මගෙ තිසිස් ඉවරවෙන නිසා.
කොච්චර වැඩ තිබුනත් ඊමේල් එකකින් ආපු මේ ලිපිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන ගොඩක් සංවේදී ලිපියක් නිසා. මේවගේ දේවල්, මේ අසරණ හැඟීම අද ගොඩක් දෙනෙකුට අත්දකින්න වෙනව ඇති. ඔයාලත් කියවල බලන්නකො.

සිත රිදුන තැන්...

සිත රිදුන තැන්...

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

Join 51 other followers