Feeds:
ලිපි
ප්‍රතිචාර

ගොඩක් කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න වෙලාව හොයාගත්ත ගොඩක් අමාරුවෙන්. පහුගිය දවස්වල ගොඩාක් වැඩ තිබ්බ. නිවාඩුවක් නැතුව එකදිගටම exams, presentations තිබුනා. ඒ අතරෙම අපේ MSc එකේ උපාධි ප්‍රධානෝත්සවය තිබ්බ. ගොඩක් සතුටුයි අවුරුදු දෙකක මහන්සියෙ ප්‍රථිඵලය ගැන.

දැන් ඉතින් මාස දෙකක් ඇතුලත තිසිස් එක ඉවර කරන්න ඕනෙ. ඒකත් හොඳින් කෙරීගෙන යනව. ගොඩක් වෙලාවට publish කරගන්න පුලුවන් වෙයි. එහෙම උනොත් ගොඩක් හොඳයි මම PhD කරන්න ඉන්න නිසා.

දැන් ඉතින් අවුරුද්දක් විතර වැඩ කරන්න ඕනෙ. මම වාසනාවන්ත උනොත් ගොඩක් වෙලාවට Research කරන්න හම්බවෙයි. මොකද වෙන්නෙ කියල කියන්නම්කො.

මේ අවුරුදු දෙකක කාලය තුල ගොඩක් හොඳ යාලුවො හම්බුනා. සංස්කෘතිය වෙනස් උනත් මිතුරු කමට ඒක බාධාවක් නොවෙන බව හොඳටම තේරුනා. සමහර ලංකාවෙන් ඇවිත් ඉන්න අයගෙන් නම් ගොඩක් හිත රිදෙන දේවල් සිද්ධවුනා. ඒ මොනව උනත් කොහොමහරි අපේ කට්ටියගෙන් එක්කෙනෙකුට ඇර අනිත් හැමෝටම කොහොමහරි උපාධිය සම්පූර්ණ කරගන්න පුලුවන් උනා. මෙහෙ කට්ටිය තරමක් පසුපසින් හිටියත් අපේ එකමුතුකම නිසා කට්ටියටම සමත්වෙන්න පුලුවන් වුනා.

මට මෙහෙ අයගෙ ඇමරිකානු හැඟීම හොඳටම තේරුම් ගන්න පුලුවන්වුනා ඔසාමගෙ මරණය දවසෙ. එදා අපි පහුවදා තියෙන විභාගයකට පාඩම් කර කර හිටියෙ. ඔසාමගෙ මරණය ගැන ආරංචිය ආපු ගමන් කට්ටිය කෑගහගෙන ඒක සැමරන්න ගත්ත. පාඩම එතනම ඉවරයි. 🙂 (මට මතක්වුනේ ප්‍රභාකරන් මැරුන දවසෙ අපේ අය සතුටුවුන හැටී. මොනව උනත් මෙහෙ අයගෙ ඇමරිකානු හැඟීම ගැන මට සමහර වෙලාවට පුදුමත් හිතෙනව. මම හිතන්නෙ මෙහෙ මේතරම් දියුණු වෙන්න ඒක ලොකු හේතුවක්. (අපේ කට්ටියගෙ රට ගැන හැඟීම ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැනෙ.)

මගෙ එක විනෝදයක් තමයි රොබට් ඉන්න වෙලාවට ඇමරිකාවට බනින එක. මොන වැඩේ තිබ්බත් එතකොට රොබට් කරන්නෙ ඒක නවත්තල මාත් එක්ක වාදකරන්න එන එක. ඒ කොහොම වාද කලත් රොබට් හැම වැඩකදිම මට ගොඩක් උදව් කරනව මගෙම සහෝතරයෙක් වගේ. මමත් ඉගෙනීම පැත්තෙන් රොබට්ට උදව් කරනව ඒවට හරියන්න.

කොහොමහරි එකම පවුලක් වගේ ගත කරපු අවුරුදු දෙකකට ආසන්න කාලය ගොඩක් සුන්දරයි. තව මාස දෙකකින් කට්ටිය එක එක තැන්වලට යයි. ඒත් අපේ මිතුරුකම හැමදාමත් පවතින්න කියල මම ප්‍රාර්ථනා කරනව.

සමාවෙන්න යාළුවනේ…

ගොඩාක් කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. මේ මගෙ MSc එකේ අන්තිම සෙමෙස්තරය. අලුතින් university වලට අයදුම් කරන වැඩ, තිසිස් එකේ වැඩ ඔක්කොම ගොඩ ගැහිල. පුලුවන් උන ගමන් ආයෙත් ලියනව…

කාලෙකට පස්සෙ ගෙදර යන ගමන්

ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවුනා. මගෙ තිසිස් එක පටන් ගත්තු නිසා ගොඩක් වැඩ තිබ්බා. කොහොමහරි ඉතින් සෙමෙස්තර් එක ඉවරවුනා. ඒත් තිසිස් එකනම් ඉවර නැහැ. ඊලඟ සෙමෙස්තරය මීටත් වඩා ගොඩාක් වැඩතියෙන එකක් වේවි.

කොහොම වුනත් අද මම මේ ලිපිය ලියන්නෙ වොෂින්ටන් ගුවන්තොටුපොලේ ඉදන්. අවුරුදු එක හමාරකට වගේ පස්සෙ මම මේ ගෙදර එන ගමන්. මට එන්න නියමිතව තිබුනෙ චිකාගෝ, වොෂින්ටොන්, ඩුබායි වලින් ලංකාවට. ඒත් චිකාගෝ ගුවන්යානාව නවත්තල හිම නිසා. ඒනිසා මට ඩලස් වලින් වොෂින්ටන් එන්න වුනා. කොහොමහරි ඒක නිසා මට ඩුබායි වලින් ලංකාවට ගුවන් යානය එනකල් පැය 7 වගේ ඉන්න තියෙනව. මොනව උනත් කාලෙකට පස්සෙ ගෙදර යන එක ගැන සතුටුයි. ගෙදර ගියත් ගොඩක් නිදහසේ ඉන්න වෙන එකක් නැහැ ගොඩක් වැඩ තියෙන නිසා. ජනවාරි ආපහු ආව ගමන් තිසිස් proposal presentation එක කරන්න තියෙනව. මගෙ තිසිස් එක බාර ප්‍රොෆෙසර් ගෙදරදි කරන් එන්න වැඩ ගොඩක් දුන්න. බලමුකො ගියාට පස්සෙ මොකො වෙන්නෙ කියල.

මේ මාස කිහිපය ඇතුලත මගෙ ජීවිතේ ගොඩාක් වෙනස්කම් වේවි. මම තීරණයක් ගන්න බැරි තත්වයක ඉන්නෙ. හදවත සහ බුද්ධිය අතර පොඩි අරගලයක්. හදවතට තැන දුන්නොත් හැමදාම වගේ පරාජය තමයි කියලත් මම දන්නව. තීරණයක් ගන්න කාලයට ඉඩ දීල ඔහේ බලන් ඉන්න එක තමයි හොඳම විසදුම කියලත් හිතෙනව. කොහොමත් වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙන එකක් නැති වේ. බලමුකො මගෙ දෛවය කොහෙටද මාව අරන් යන්නෙ කියල.

ගොඩාක් ලියන්න ඕනෙ කියල ගත්තත් ලියන්න හිත දෙන්නෙ නැහැ. මොකක්දෝ අඩුවක් හිතට දැනෙනව. මෙහෙ යාලුවන්ගෙන් වෙන්වෙන්න වුන එකද කියල හරියටම කියන්න තේරෙන්නෙ නැහැ. මම කොහොමත් වෙන්වීම් වලට ගොඩක් අකමැති කෙනෙක්. කෙටි කාලීන බැදීමකින් වුනත් වෙන්වෙන්න මට හරිම අමාරුයි. ඒක ගොඩක් කාලෙක ඉදන් මගෙ තියෙන දුර්වල කමක්.මගෙ ජීවිතය දිහා ආපහි හැරිල බලද්දි මට පුදුමයි. ජීවිතයෙ වෙච්ච ගොඩක් දේවල් සිද්ද උනෙ මගෙ බලපෑමක් නැතුව කියල හිතෙනව. කවුරුහරි නොදන්න කෙනෙක් මගෙ ජීවිතය පාලනය කරනව කියල හිතෙනව. උසස්පෙළ ප්‍රථිඵල බලාපොරොත්තු වුනාටත් වඩා වැඩිවුන නිසා දෙවනවර උත්සාහ නොකරපු එක, ඒක නිසා විද්‍යා පීටය තෝර ගැනීම, නොසිතු විදියට සංඛ්‍යානය විශේෂ පාඨමාලාවට සමත්වීම, කවමදාවත් හිතල තිබුනෙ නැති උසස් අධ්‍යාපනයට යොමුවීම… මේ ඔක්කොම දේවල් සිද්ධ වුනෙ පුදුම විදියට. මේ දේවල් නිසා මට හිතෙන්නෙ මම යම්කිසි දෙයක් ගැන ගොඩාක් හිතල වැඩ කරනවට වඩා එන එන විඩියට වැඩ කරන එක හොඳයි කියල.

කොහොම වුනත් ඉස්සරහට වෙන දේවලුත් ඔයාල එක්ක බෙදා ගන්නම්කො. ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්.

අම්මා…

මට මේක හම්ඹුනේ ඊමේල් එකකින්… මගෙ ඇස් වලට කඳුළු ආව මේක කියවද්දි… ඔයාලත් කියවල බලන්නකො…

සඳුදා අපේ අලුත් සෙමෙස්තරය පටන් ගන්නව. එතකොටනම් ගොඩාක් වැඩ තියෙයි. මොකද මම මගෙ තිසිස් එකත් පටන් ගන්නෙ මේ සෙමෙස්තරයෙනෙ. ඒක නිසා මේ සෙමෙස්තරය ගොඩාක් වැදගත් එකක් වේවි. මොනව වුනත් චිකාගෝවලදි මම ගිය තවත් තැනක් ගැන කියන්නම්කො. ඒ තමයි ලිංකන් පාර්ක් සත්ව උද්‍යානය.

මේකට වඩා ගොඩක් විශාල සත්ව උද්‍යාන චිකාගෝවල තියෙනව. නමුත් මේක නොමිලයේ බලන්න පුලුවන්වීම තමයි මේකෙ විශේෂත්වය. මේ තමයි ඇතුල්වීම.


මේකෙ මම වඩාත්ම කැමතිවුන තැනක් තමයි ඉස්සෙල්ලම හම්ඹුන සීල් මත්ස්‍යයින්ගේ වාසස්ථානය.

ඊට පස්සෙ සිංහයින්, දිවියන්, ව්‍යාඝ්‍රයින් සමීපව දැකගන්න පුළුවන්. වැඩි විස්තර ඕනෙ නැහැ. බලන්නකො ඡායරූප ටික.

මේ ඉන්නෙ දැකල පුරුදු කට්ටියනෙ… 🙂

මේ ඉන්නෙ කැන්ගරුවන්…

පහල ඡායාරූපයට කොහෙන්ද තවත් මූණක් ඇවිත්. ගනන් ගන්න එපා හොඳද…

මේ පෙන්ගුයින්ල… දාල තියෙන වීදුරුවෙ වතුර තියෙන නිසා හොඳ ෆොටෝ එකක් ගන්න බැරි උනා… 😦

දැන් 12.30ත් වෙලා. නිදාගන්න ඕනෙ. පුලුවන් විදියට ආයෙ ලියන්නම්කො….

චිකාගෝවලට විශේෂිත ස්ථානයක් වුන “නේවි පියර්” ගැන කලින් පෝස්ට් එකෙන් කිව්වනෙ. මෙහෙදි මගේ හිත ගත්තු තවත් තැනක් තමයි මිලේනියම් පාර්ක්. ඒක ගැන තමයි අද මම කියන්න යන්නෙ.

චිකාගෝ කියන්නෙ උද්‍යාන කළමනාකරණය ගැන විශේෂ අවධානයක් යොමු කරල තියෙන නගරයක්. නගර සැලසුම්කරණයේදි ඒ පිළිබඳව හොඳ සැලකිල්ලක් දක්වල තියෙනව. සංචාරක ආකර්ශනය අතින් නේවි පියර් වලට පමණක් දෙවෙනිවන මිලේනියම් පාර්ක් එයට හොඳ උදාහරණයක්. සම්පූර්ණ විශාලත්වය අක්කර 24.5 වන මෙය මෙය ඉදිකිරීම ආරම්භ කරල තියෙන්නෙ 1998. ඉදිකිරීම් සම්පූර්ණ කරන්න අවුරුදු 5ක් පමණ ගතවෙලා තියෙනව. මේ සඳහා වැයවී ඇති සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 475ක්.

මෙහි තියෙන සිත්ගන්නා තැනක් තමයි බෝන්චි ඇටයක හැඩය ගත්තු නිසා “ද බීන්” නමින් හැඳින්වෙන ස්මාරකය. අඩි 66 දිගින් සහ අඩි 33 පළලින් යුත් මෙය ඉදිකරල තියෙන්නෙ මළ නොබැඳෙන වානේ වලින්. විශාල වාර ගණනක් ඔපමට්ටම් කිරීම නිසා තමයි මෙය කණ්නාඩියක් දිස්නයෙන් යුක්ත වෙන්නෙ. චිකාගෝ නගරයේ ප්‍රධාන ගොඩනැගිලිවල ප්‍රතිබිම්බයක් මේ තුලින් දැක ගන්න පුලුවන්. මෙහි සුවිශේෂී හැඩය නිසා මෙයින් විවිධ ආකාරයේ විසුලු ප්‍රතිබිම්බ ලබාගන්න පුලුවන්. ඒනිසා තමයි විශාල පිරිසක් මෙය අසල විවිධ ඉරියව් වලින් ඡායාරූප වලට පෙනී සිටින්නෙ.



මෙහි ඇති පදික පාලමත්(BP Pedestrian Bridge) විශේෂ වෙන්නෙ එහි හැඩය නිසා. මෙහි හැඩය දැකගන්න පුලුවන් ඉහල ඉඳල ඡායාරූපයක් ගත්තොත් විතරයි. ඒ හින්ද අන්තර්ජාලයෙන් ගත්තු ඡායරූපයක් තමයි එක් කරන්න වෙන්නෙ.


ආසන 4000කින් යුක්ත ශාලාවත් (Jay Pritzker Pavilion) මෙහි ඇති තවත් විශේෂ තැනක්. බලන්නකො ඒකෙ වහලය දිහා.


කුඩා ළමයින්ගෙ සිත් ගත්තු තැනක් තමයි “ක්‍රවුන් වතුරමල”. අඩි 50 උස ගොඩනැගිල්ලක් ආකරයෙන් තමයි මෙය ඉදිකරල තියෙන්නෙ.

LED මගින් මෙහි මිනිස් මුහුණු වීඩියෝ නිරූපණය කෙරෙනව. එමඟින් මෙයට සජීවි බවක් එකතු කෙරෙනව.

මේ ආසන්නයේම තිබෙන “බකින්හැම් වතුරමල” ඉතාම අලංකාරයි.

රාත්‍රී කාලයෙදි විදුලි බල්බ මඟින් මෙහි අලංකාරය තවත් වැඩිකරනව.(මේ ඡායාරූපය නම් ලබාගත්තෙ අන්තර්ජාලයෙන්)

චිකාගෝවල තවත් විස්තර එක්ක ආයෙත් ලියන්නම්…

කලින් පෝස්ට් එකකදි මම පොරොන්දු වුනානෙ මම චිකාගෝ වල බලන්න යන තැන් ඔයාල එක්ක බෙදාගන්නව කියල. අද ඉස්සෙල්ලම කියන්න යන්නෙ චිකාගෝ වලට විශේෂම තැනක් ගැන. ඒ තමයි “නේවි පියර්”.

නේවි පියර් හැඳින්වෙන්නෙ චිකාගෝ භූමිලකුණ (land mark) විදියට. මෙය ඉදිකිරීම සම්පූර්ණ කරල තියෙන්නෙ 1916. මෙහි විශේෂත්වය තමයි මෙය අඩි 292 පමණ පළලින්, අඩි 3000 පමණ මිචිගන් විල තුලට දික්වීම. ජලය මත ඉදිකරල තියෙන මෙහි විවිධ විනෝදාත්මක අංගයන් ඇතුලත් වෙනවා. මිලියන 7 කටත් වඩා ජනයා වාර්ශිකව මෙය නැරඹීමට පැමිනෙන්නෙ මෙහි ඇති සුවිශේෂත්වය නිසාමයි.

පහළ ඡායාරූපයෙන් දැක්වෙන්නෙ ඇතුල්වෙන ස්ථානය.

ජලය මත ඉදිකර ඇති ආකාරය පහතින් දැක්වෙනව.

පහත ඡයාරූප වලින් එහි ඇති විනෝදාත්මක ස්ථාන කිහිපයක් දැක්වෙනව. මතක තියගන්න ඕනෙ දෙයක් තමයි මේ හැමදෙයක්ම තියෙන්නෙ ජලය මත.

කැමති කට්ටියට නැව්, බෝට්ටු, වේග යාත්‍රා සවාරි යන්නත් පහසුකම් සලස්වල තියෙනව.

මම ඉස්සෙල්ලම ගියපු තැන තමයි මේ “නේවි පියර්”. තව තැන් කිහිපයකට ගියා. ඒව ගැන විස්තරත් එක්ක ආයෙත් ලියන්නම්.